Monday, December 30, 2013

නොදැනෙන තනිකම

අව්වත් එක්ක තරගෙට
සෙල්ලම් කරන සුළඟට 
සිහියේ නැහැනෙ ටිකකට 
නැති බව වැස්සේ කලකට... 

දූවිලි සුවඳ විඳ විඳ

කොළ අතු වලින් ඩැහැගෙන
වළකන දෑත් දැක දැක
හැමුවා සුළඟ තනියම...  


Saturday, December 28, 2013

අතරමං

කාලයකින් වැස්සක් නොවැටි
වැලි පාර මත්තෙන් 
දූවිලි අවුස්සාගෙන 
නුඹ ගියා වේගය වැඩියි
දූවිලි මැද්දෙන් 
පාර මතුවෙන කොට 
අන්තිම බස් එකට
මම පරක්කු වැඩියි...

Thursday, December 26, 2013

කාලයකින්...

සුවඳ නැති රෝස මල් විසිරුණු 
කඩදාසියක ලියපු නුඹේ නම
අවුරුදු ගාණකින් දුටුවාම
අමතකව සිටි යුගය සිහිවී
ලැජ්ජාවෙන් පිරුණා මුලු සිතම
කාලයකින් නෑල්ලූ පෑන ගෙන
කුරුටු ගා මකා දැමුවෙ ඒකයි
රෝස මල් වලටත් රිදෙන්නම
නුඹේ නම... 



දිසාලා අවනඩුව


උපන්නත් ජාතකව රජෙකුට

පවට මව්ගේ කුලයෙ මද බව
වින්දා කවුරුත් නොවිඳි දුක් කඳ
අපිට අපි විතරමයි පෙර සිට...

රුවට පෙම් බැන්දාට පිය රජ

රාජ රුධිරෙට මදිලු අපෙ මව
භරත දේශේ කුලැති දෙව් දුව
නමට කැන්දන් ආව නුවරට...

හසුව කුල මල ගිරයෙ කොණකට

තුරුණු බව වියැකුණා අකලට
ආලෙ බැද අපෙ සරණ යෑමට
ඔය තරම් දෙස් දෙවොල් කාරිද?

Tuesday, December 24, 2013

වැස්ස

දෙව් ලොව ඉදන්
මනු ලොව බලන්
මානස විලට
ප්‍රේමය කළත්
දෙවි සැප අතැර
එන්නට දුකින්
දෙවිඳුන් සලන
කඳුළැල් ගඟුල්... 



Monday, December 23, 2013

කතරට යන අතරමග

ගත නළවන ලැසි ගමනින් 
ඇදෙන රිය
මුදු මඳ නළ දිව විත්
සිපගත් මාව
අහසට හොරෙන් වැටෙනා 
වැහි බිඳු රෑන
නිදිබර මාව නිදි කෙරුවට
නැත අරුම... 

නින්දක් නැතිව

පෑ තිස් ගාණක් ආවා
ගණඳුරු රැයේ 
අඳුරට මං පෙම් කෙරුවා
කල්යල් බලා මහ වැස්සක්
ඇද වැටුණා
නිදිබර නෙත් පියවෙන වග
මට දැනුණා... 

සුන්දර වන මලින් සුවඳ වු

සුළඟ හමයි
මීඳුම බැදුණු වීදුරු සිප
වැස්ස හැලෙයි
ඉඳහිට ගසන අකුණත්
විටෙකදි සොඳුරුයි
කතරට යන නමුත්
වැස්සට හිත ලෝබයි... 



අහෝ නොමැරුණි!

සරදියෙල් අමරණීය කළ 
මරණය වූ තැනයි කියමින  
මහතුන් විසින් ඉදිකළ 
මහා බලකොටුව අභියස 
තනියට තිරිසනකු සමඟින 
උරුමකම් ඇත්තකු සරදියෙල්ට 
සිටියා බලාගෙන කන්ද දෙස
හූල්ලමින් හෙමිහිට 
නොමැරුණ හෙයින් ඔහු ලෙස... 


ගෙවුණු වසත් කල....

අරලියා සුවඳ ඇති 
ලඳු කැළය අස්සේ
සුළඟට කැළතෙනා
පොකුණ ඉස්මත්තේ 
බංකුවක්වත් නැති
ගල් තලය මත්තේ
හිස රුඳූණා නුඹෙ උරයෙ
තාම මට සිහිවේ... 

කවුරුවත් ආවෙ නැති

ගොම්මනේ අඳුරේ
මල් කැකුලු අහුලාන 
මගෙ දෝත තැබුවේ
සමනල්ලුවත් නොඑන 
අපට හිමි දහනේ
හිනාවක්වත් නොමැති
සතුට අපි ලැබුවේ.... 

වසක් දෙවසක් වෙලා

තිස් වසක් ගෙවුණේ
වසත් කල වියැකිළා
නියන් කළ ආවේ
විටින් විට හමුවුණත්
නැහැ කතා කෙරුවේ
නුඹේ මළගමට ඇයි
මට එන්න වූයේ... 


ආයෙමත්

ආයෙමත් පීදිලා 
රොබරෝසියා මල් 
තැනින් තැන එකින් එක 
මහා ගස පුරාවට
ගියපාර වාගේ 
පිරෙන්නම නැතුවාට
තැනින් තැන එකින් එක
මහා ගස පුරාවට
ආයෙමත් පීදිලා
රොබරෝසියා මල්...