වැව් තාවුල්ලකදි සිරුර සිඹින සුළග එතරම් සුවදායක සහ සිහිලැල් ඒ සුළග නිල් පාට ජල කද පිසගෙන හමා එන නිසා වෙන්නට ඇති. ඇහැට පෙනෙන්නට තියෙන පළාතම වසාගෙන ඇති නිල් පාට වැව් දියවරයි, ඊට ඉදිරියෙන් ඇති ගල් තලාවයි හිතට විතරක් නෙමෙයි ඇගටත් ගෙන එන්නේ අපූරු සනීපයක්. දැවැන්ත මාර ගස් වලින් සෙවණ වුණු, දවසේ හැමවෙලාවෙම මද අන්ධකාරයෙන් යුත්, කලු පාට තාර පාර දිගේ මුළු හවස් වරුවම වුණත් ඇවිදගෙන යන්න පුළුවන්. සොබාදහමත් එක්ක තනිවන ඒ වගේ අතිශය ප්‍රේමණීය වෙලාවක, ගන්න හැම හුස්මක්ම හිත පුරා විදින්න පුළුවන් නම්, දකින හැම දසුනකටම සංවේදී වෙන්න පුළුවන් නම්, හිතත් එක්ක මහා හයියෙන් නිශ්ශබ්ද සංවාදයක යෙදෙන්න පුළුවන් නම්, ඉදිරියට හමුවන දන්න නාදුනණ හැමෝම එක්ක පහන් හැගීමෙන් සිනාසෙන්න පුළුවන් නම්, හැදි ගෑරුප්පු එක්ක ඔට්ටු වෙන සුඛෝපභෝගී හැන්දෑවකට වඩා ඒ හැන්දෑව සුන්දර බවට සැක නැහැ.
කොහේ සිට කොහෙට හමා යනවද, කවුරැන් සිප හමා එනවද, කාගේ රහස් කැටි කරගත්තද කියා නොදැන වුණත් අසීමිත ආදරයක් සෙමින් ගත සිප හමා යන සුළග ගැන දැනෙන්නේ සුවදායකත්වයක මුල මැද අග නොසොයන්න තරම් හිත කම්මැලි නිසා වෙන්නට ඇති. හරියට ඉදගන්නට තැනක් නැති වුණත් විශාල මාර ගසකට හේත්තු වෙලා වැව දිහා බලා ගත්තාම හාත්පස වසාගෙන යන අන්ධකාරය අතරින් පෙනෙන වැව් දියවර දිහා බලාගෙන භාවනා කරන්නට පුළුවන් තරම් නිස්කාන්සුවක් දැනෙනවා. ජීවිතය නතර වුණු මොහොතක වටපිටාව ගැන වගක් නැතිව ඉන්නකොට දැනෙන සැනසීම සෙනග පිරුණු අවන්හලකදි නොදැනෙන වග කියන්නෙ නූතනත්වයට වෛර කරන නිසා නොව ඒ නූතන ලෝකය තුළම ජීවත් වෙමින් සරලත්වයට ලොබ බදිනා නිසාවෙනි.
No comments:
Post a Comment