Thursday, June 19, 2014

ජීවිත කතා

සෑම ජීවිතයක් තුළම කතාන්දර රැසක් සැඟව ඇති බව දනිමි. ඉදිරියට හමුවන මුහුණු තුළින්, දැස් තුළින් හෝ ඔවුන් මගේ සවණට මුමුණන වචන තුළින් මම ඒ කතන්දර කියවන්නට උත්සහ දරන්නෙමි. එහෙත් ඒ ජීවිත ගැන වෙනත් ජීවිතයක් කියනා කතන්දර මම වචනයකුදු පිළිනොගනිමි. ඒ, එක් ජීවිතයක් ගැන සත්‍යය දන්නේ ඒ ජීවිතයේ හිමිකාරීත්වය පමණක් බව මම හොඳින්ම දන්නා නිසාවෙනි. 

එසේම හැම ජීවිත කතාවකටම වඩා මගේ කතාව ලස්සන බව අදහමි. විටෙක එය යථාර්ථයෙන් දුරස් වුවත්, මගේ ජීවිතයේ සෑම කුඩා සිදුවීමකටම මම අගයක් දෙන්නෙමි. මගේ කතාව ගොඩනැගෙන්නේ පිරිසිදු හැඟීම්, අවංක කදුළු, නිර්ව්‍යාජ සිනාවන් හා ගැඹුරු අවබෝධයන් මතිනි. එය මෙසේ වූවානම් හොඳ යැයි සිතෙනා එක් තත්පරයක්වත් මට නැත. මම එතරම් මගේ සංකීර්ණ, සරල, අසම්පූර්ණ, පරිපූර්ණ කතාවට ආදරය කරන්නෙමි. එහි ලස්සන ඇත්තේ ඒ කතාව මගේ ආත්මය විසින් හඩ නගා කියද්දී පමණක් බව මම ඔබට පුළ පුළා කියන්නෙමි. ජීවිතයක් ගැන දුක්බර හෝ සතුටුදායක හෝ ලස්සන හෝ අවලස්සන හෝ අසාධරණ හෝ සාධාරණ හෝ කතාවක් අපූර්වත්වයෙන් යුතුව අසන්නට නම් ඒ ජීවිතයේ හිමිකාරීත්වයේ නිහඩ බවට සවන් දෙන්නට යැයි මම ඉල්ලන්නේ එහෙයිනි. ඔබට හිමි නැති ජීවිතයකට අත තබා එහි කතාව හා සෙල්ලම් කර වචන එහෙට මෙහෙට විසි කර ඒ ආත්මය විනාශ කරන්නට පෙර ඔබ ඔබේ ආත්මය ගැන සානුකම්පිතව හිතා බලනවා නම් වටිනා වග සිහි කරන්නේ අතිශය ආදරයෙනි. 

Friday, June 6, 2014

ආයෙත් ආයෙත් ආයෙත්

මල් වැටෙන්නේ
නළ වැඩි කාලෙටයි
කොළ හැලෙන්නේ
දළුලන සමයටයි
ගග උතුරන්නෙ 
වස්සානය නිසයි
හිත රිදවන්නෙ 
ලෙන්ගතුකම තමයි...


මහ සුළං නැති 
කාලය ලබයි
ගස් අතුද තනිවන
යුගය එයි
ගග පාලු කර
නියගය එබෙයි
නුඹ ගියපු පසු
හිත නතර වෙයි...

සති දෙකෙන් ආයෙත්
මල් පිපෙයි
හරි ලස්සනට 
කොළ දළු දමයි
ගග පිරෙන්නට 
වැස්සක් වැටෙයි
මගෙ හිතද නැවතත් 
පණ ගසයි...



Wednesday, June 4, 2014

හැන්දෑවක්

වැව් තාවුල්ලකදි සිරුර සිඹින සුළග එතරම් සුවදායක සහ සිහිලැල් ඒ සුළග නිල් පාට ජල කද පිසගෙන හමා එන නිසා වෙන්නට ඇති. ඇහැට පෙනෙන්නට තියෙන පළාතම වසාගෙන ඇති නිල් පාට වැව් දියවරයි, ඊට ඉදිරියෙන් ඇති ගල් තලාවයි හිතට විතරක් නෙමෙයි ඇගටත් ගෙන එන්නේ අපූරු සනීපයක්. දැවැන්ත මාර ගස් වලින් සෙවණ වුණු, දවසේ හැමවෙලාවෙම මද අන්ධකාරයෙන් යුත්, කලු පාට තාර පාර දිගේ මුළු හවස් වරුවම වුණත් ඇවිදගෙන යන්න පුළුවන්. සොබාදහමත් එක්ක තනිවන ඒ වගේ අතිශය ප්‍රේමණීය වෙලාවක, ගන්න හැම හුස්මක්ම හිත පුරා විදින්න පුළුවන් නම්, දකින හැම දසුනකටම සංවේදී වෙන්න පුළුවන් නම්, හිතත් එක්ක මහා හයියෙන් නිශ්ශබ්ද සංවාදයක යෙදෙන්න පුළුවන් නම්, ඉදිරියට හමුවන දන්න නාදුනණ හැමෝම එක්ක පහන් හැගීමෙන් සිනාසෙන්න පුළුවන් නම්, හැදි ගෑරුප්පු එක්ක ඔට්ටු වෙන සුඛෝපභෝගී හැන්දෑවකට වඩා ඒ හැන්දෑව සුන්දර බවට සැක නැහැ. 

කොහේ සිට කොහෙට හමා යනවද, කවුරැන් සිප හමා එනවද, කාගේ රහස් කැටි කරගත්තද කියා නොදැන වුණත්  අසීමිත ආදරයක් සෙමින් ගත සිප හමා යන සුළග ගැන දැනෙන්නේ සුවදායකත්වයක මුල මැද අග නොසොයන්න තරම් හිත කම්මැලි නිසා වෙන්නට ඇති. හරියට ඉදගන්නට තැනක් නැති වුණත් විශාල මාර ගසකට හේත්තු වෙලා වැව දිහා බලා ගත්තාම හාත්පස වසාගෙන යන අන්ධකාරය අතරින් පෙනෙන වැව් දියවර දිහා බලාගෙන භාවනා කරන්නට පුළුවන් තරම් නිස්කාන්සුවක් දැනෙනවා. ජීවිතය නතර වුණු මොහොතක වටපිටාව ගැන වගක් නැතිව ඉන්නකොට දැනෙන සැනසීම සෙනග පිරුණු අවන්හලකදි නොදැනෙන වග කියන්නෙ නූතනත්වයට වෛර කරන නිසා නොව ඒ නූතන ලෝකය තුළම ජීවත් වෙමින් සරලත්වයට ලොබ බදිනා නිසාවෙනි. 


Monday, May 19, 2014

මිනිස්සු

තුවාල වුණු, සීරුණු, කටු පෑගුණු, මඩ තැවරුණු ආත්ම, පිරිසිදුවට තියෙන දිස්නෙ දෙන ආත්මවලට වඩා ලස්සනයි. ජීවිතය තුළ කියන්නට කතාන්දර මහ ගොඩක් තියෙන, ඒත් ඒ කිසිවක් නොකියා සිනාසෙන නිහඩ මිනිස්සු බොල් හඩ දෙමින් ජීවිතේ ආටෝප ගැන කියන මිනිසුන්ට වඩා සුන්දරයි. 

නොදත්



සියල්ලන්ම අතරමං වූ ආත්ම යැයි මට බොහෝ විට සිතී ඇත. සමහරවිට අතරමං වී සිටින්නේ මා පමණක් විය හැකිය. නැතහොත් මග සොයන්නේ මා පමණක්ද විය හැකිය. ඒ කෙසේ වෙතත් දකින, හමුවන බොහෝ මුහුණුවල ඇත්තේ විඩාවය. නැත්නම් අසරණකමය. තෘප්තියක් හමුවන්නේ කලාතුරකිනි. ඒ හමුවුණද, ඔහුගේ හෝ ඇයගේ තෘප්තිය මා පුදුම කරන්නේය. සැබැවින්ම තෘප්තිමත් යැයි පෙනෙනා මිනිසුන්ට එසේ තෘප්තිමත් වීමට හේතු නැත. ඔවුන් යෙදෙන්නේ ජීවිත රංගනයකය. තෘප්තිමත් නොවන මිනිසුන්ට අවශ්‍ය නම් තෘප්තිමත් විය හැකිය. එහෙත් ඔවුන් වල්මත් වී ඇත. කවුරුන් හරිද කියා මා දන්නේ නැත. කවුරුන් හරිද කියා තබා, කවුරුන් හෝ හරි විය යුතුද කියාවත් මා දන්නේ නැත.   

Wednesday, May 14, 2014

ශීත කල හැන්දෑව

පාලු උයනක හිඳන් මල් පිපී පරව ගිය 
හේමන්ත සුළඟට හසුව අසරණව ගිය   
ඈත වැහි වළා ගැන හීන කිසිවක් නැතිව
අන්ධකාරය දෙසම බලාගෙන හිනැහෙන
ජීවිතය අතැර දැමු ශීත කල හැන්දෑව
උදාවෙන තුරාවට ඕනෙ නැහැ මියැදෙන්න... 

Monday, May 5, 2014

උඩරට මතක පොත


දිලිසෙන හිරුගෙ යට නිහඩව වැතිර හිඳ
බැතිබර සුසුම් රැල් සුළඟට මුහු කෙරුව 
සේයාවක් ලෙසින් රළකුදු නොගසමින 
කවදත් ලස්සනට නැළැවෙන නුවර වැව... 


සුළඟට වැටුණු මල් ස්නේහෙන් පිළිගත්ත
යන එන බැතිමත්තු සිසිලෙන් නැහැවූව   
පෙර සිට පැවත එන සේ සැම ඉවසාන   
ලස්සන නුවර වැව තාමත් එක සේම...  


කදුරට රජ බිසව් කදුළැලි සඟවාපු
විරු හෙළ සෙන්පතින් රුධිරෙන් පුරවාපු
දළදා හිමි සදුගෙ ළඟ පෙරුමන් පුරපු
උඩරට මතක පොත නුවරක් කැටි කරපු...



Monday, March 3, 2014

පුදුමමත් නැහැ


එකින් එක තරු මතුව එන හැටි
දුරින් දුර හිරු සැඟව යන හැටි
මලින් මල තුරු හිසින් වැටි හැටි
දුකින් නොව තුටු සිතින් දුටු හැටි... 

සුවඳ දෙන නළ චණ්ඩ වූ හැටි 
මල් පිපුණු වතු පාලු කළ හැටි
යළිත් සුළඟම සුවඳ කර කැටි 
දුටිමි මල් එකිනෙක සිම්බ හැටි... 

කලින් කල සිත පෙමින් බැ‍ඳි හැටි
නික්ම යද්දී දුකක් නැති හැටි
කලට අකලට වැසි වසින හැටි
පුදුමමත් නැහැ අරුම නැති හැටි...

Tuesday, January 21, 2014

කලුවර රූ


ඈත පෑල දිග අහසින්

හීනියට වෑස්සන කලුවර
සඳුට එන්න අමතක වුණු
හවසක් තිබුණා... 

වෙලාවට ගියත් හිරු බැස

තරුත් නෑවිදින් කර ඇරි
ගං දිය මත සෙවනැළි නැති
ගොම්මන ලැබුවා...

යළිත් සඳු නොඑන සේ තිබු

අන්ධකාර අහසේ කලු
නේක රටාවන් අදිමින්
හිරුවම පැතුවා... 


Monday, January 6, 2014

සුඛ විහරණෙට අභිනික්මණ



කවුලුවෙන් එපිට මීදුමෙන් වැසුණු
කඳු ශිඛර සිසාරා හමනවලු සුළඟ
නොපෙනෙන්න මට, නොදැනෙන්න මට... 

හැරදාපු දොර දිවයාවි දුර
දිස්නෙ දෙන බිම පෙනෙනවා මට
ආරාධනා කරන සුඛ විහරණෙට... 

විටින් විට එන විත් හැපී යන
සීතලක් නොදැනෙනා නොපෙනෙනා නළ
කෑගසන හඬ ඇසේ ඉඳහිට... 

සුවඳ හමනා වයින් බින්දුව 
රසැති සුසුමුදු කේක් තට්ටුව 
සැලෙන දොර තිර තුළින් පෙනෙනවා මට...

තනිය රජයන පාලු නිම්නයෙ
ශබ්ද නොනගන නිස්කලංකය 
කවුලු දොරගින් එබේ හෙමිහිට...

පාලු කපනා සිනා මදහස 
සාලෙ මැද්දෙන් ඇසුණ මොහොතක 
නැගිට ගොස් මා වසා දැමුවෙමි ඔහේ සැලෙනා ජනෙල් තිර පට...